1600දී එක්සත් ජනපද නැගෙනහිර වෙරළට ඔබ්බෙන් බොහෝ රයිට් තල්මසුන් වාසය කළහ. ජනකතා පවසන්නේ කේප් කෝඩ් බොක්කේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට රයිට් තල්මසුන්ගේ පිට මතින් ගමන් කළ හැකි වූ බවයි. නමුත් අද එහි ජීවත් වන්නේ තල්මසුන් සිය ගණනක් පමණක් වන අතර ඔවුන් වඳ වී යන සත්ව විශේෂයකි. වසර 200ක් තරම් කෙටි කාලයක් තුල මෙතරම් සීග්රයෙන් තල්මසුන් වඳ වීමට හේතුව මස්, තෙල් හා අස්ථි සඳහා දඩයම් කිරීමයි. අපේ මුහුදුවල තල්මසුන් තවමත් සිටීමට එකම හේතුව 70 දශකයේ ක්රියාත්මකවූ “සුරකින්න තල්මසුන්” ව්යාපාරයයි. “අපට තල්මසුන් බේරා ගන්න බැරි නම් බේරාගන්නට පුළුවන් කුමක්ද?” යන අදහස පදනම් කරගෙන ගොඩනැගුණු මෙම ව්යාපාරය, වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක විය. එය, පාරිසරික විනාශය නතර කිරීමට අප සතු දේශපාලන හැකියාව පිළිබඳ අවසාන පරීක්ෂණය විය. මෙම ව්යාපාරයේ ප්රථිපලයක් ලෙස 80 දශකය මුල් භාගයේදී වාණිජ තල්මස් දඩයම් තහනම ක්රියාත්මක කෙරුණි. එනමුදු වර්තමානයේ වුවද මිනිසුන් ඇතිකරන තර්ජන රැසකට මුහුණ පාන තල්මසුන් තවමත් ප්රමාණයෙන් අතලොස්සකි. අවාසනාවකට බොහෝ දෙනා තවමත් සිතන්නේ මා වැනි තල්මස් සංරක්ෂකයන්ගේ මැදිහත්වීම්වලට හේතුව තල්මසුන්ගේ ප්රතාපවත් අලංකාරය කියායි. ඇත්තෙන්ම මෙය දුර්මතයකි. මන්දයත් තල්මසුන් පරිසර පද්ධති ඉංජිනේරුවන් නිසා. ඔව්හු සාගරවල ඇති ස්ථාවරත්වය නඩත්තු කිරීමට උදව් කරමින් මානව සමාජයට සේවය කරති. ඉතින් කතා කරමු තල්මසුන් සංරක්ෂණය සාගර නම්යතාවට තීරණාත්මක වන්නේ ඇයි කියා. හේතු දෙකක් නිසා: තල්මස් මල සහ තල්මස් මළකුණු. ආහාර ගැනීමට ගැඹුරු දියට කිමිදී, හුස්ම ගැනීමට මතුපිටට පැමිණෙනවිට තල්මසුන් දැවැන්ත අශුචි වලාවන් මුදාහරි. මෙම අශුචි වලාවන් අත්යවශ්ය දුර්ලභ පෝෂ්ය පදාර්ථ ගැඹුරු මුහුදේ සිට මතුපිටට ගෙන ඒමට උපකාරවේ. මෙම පෝෂ්ය පදාර්ථ සියලු සාගර ආහාර දාමවල මූලය වන ප්ලවාංග වර්ධනය උත්තේජනය කරයි. මේ නිසා, සාගර වල වැඩි තල්මසුන් සංඛ්යාවක් ජීවත්වීම සහ මල පහකිරීම සමස්ත පරිසර පද්ධතියටම අතිශයින් ප්රයෝජනවත්වේ. තල්මසුන් දිගු සංක්රමණ සිදුකරන ක්ෂිරපායි සත්වයෙක් ලෙස සැලකේ. අළු තල්මසුන් සෑම වසරකම ඇමෙරිකානු වෙරළෙන් ඔබ්බෙහි පිහිටි ඵලදායී පෝෂක ප්රදේශ හා අඩු ඵලදායී පැටවුන් බිහි කරන ප්රදේශ අතර කිලෝමීටර 16,000ක් පමණ සංක්රමණය වේ. ඔව්හු එසේ සංක්රමණය වන විට පොහොර සුලභ තැන්වල සිට දුලබ තැන් දක්වා තම මල ස්වරූපයෙන් පොහොර ප්රවාහනය කරති. ඒ නිසා පැහැදිලිවම, සාගර හරහා තිරස්, සිරස් දෙදිශාවටම පෝෂක චක්රියකරණයට තල්මසුන් වැදගත් වේ. එහෙත් ඇත්තම විස්මය නම් ඔවුන් මියගිය පසුවද තල්මසුන් වැදගත් වන ආකාරයයි. තල්මස් මළකුණු සාගර මතුපිට සිට කිඳා බසින විශාලතම සුන්බුන් වර්ගයකි. මේ නිසා තල්මස් මළකුණු කිඳා බැසීම "තල්මස් වැටීම" නමින් හඳුන්වයි. තල්මස් මළකුණු කිඳා බසින අතරතුර, ආඳකුගේ හැඩය ගන්නා හැග්ෆිෂ් මසුන් ඇතුළු සාගරයේ වසන 400කට වැඩි සත්ව විශේෂ ගණනාවකට භෝජන සංග්රහයක් සපයයි. ඉතින් වසර 200කට අධික තල්මස් දඩයමේදී අප තල්මසුන් ඝාතනය කරමින් සහ එම මළකුණු සාගරයෙන් ඉවත් කරමින්, ගැඹුරු මුහුදට තල්මස් වැටීමේ වේගය සහ ව්යාප්තිය වෙනස් කර, තම පැවැත්ම සඳහා තල්මස් මළකුණු මත යැපෙන තවත් සත්ව විශේෂ ගණනාවක වඳ වීමට හේතුකාරක වී ඇත. තල්මස් මළකුණු කාබන් ටොන් 190,000 පමණ වායුගෝලයෙන් අවශෝෂණය කර ගැඹුරු මුහුදට ප්රවාහනය කරයි. මෙය වසරකට මෝටර් රථ 80,000 විසින් වායුගෝලයට මුදා හරින කාබන් ප්රමාණයට සමානය. මෙසේ අතිරික්ත කාබන් වායුගෝලයෙන් ඉවත්කර, ගැඹුරු මුහුදේ සිරකර තබමින් ගෝලීය උණුසුම ඉහළ යාම ප්රමාද කිරීමට උපකාර වන නිසා ගැඹුරු මුහුදු “කාබන් නිවාරක” ලෙස සැලකේ. සමහර විට මෙම තල්මස් මළ සිරුරු වෙරළට ගසාගෙන එන අතර ගොඩබිම වසන මාංශ භක්ෂක සත්ව විශේෂ වලට ආහාරයක් වෙයි. වසර 200 ක තල්මස් දඩයම පැහැදිලිවම අහිතකර වූ අතර සියයට 60ත් 90ත් අතර ප්රතිශතයකින් තල්මස් ගහනය අඩු කිරීමට හේතුවිය. පැහැදිලිවම, “සුරකින්න තල්මසුන්” ව්යාපාරය වාණිජ තල්මස් දඩයම නැවත්වීමට තීරණාත්මක වූ අතර අප නැවත මෙය සංශෝධනය කල යුතුයි. තල්මසුන් මුහුණ පාන වඩාත් අලුත්, දැවෙන ප්රශ්න විසදීමට සලකා බැලිය යුතුයි. අනිකුත් කරුණු අතර, ඔවුන් තම පෝෂක ප්රදේශවල සිටින විට කන්ටේනර් නැව් වල හැපීම, මුහුදේ පා වෙමින් සිටින අතරතුර ධීවර දැල් වල පැටලීම නැවැත්විය යුතුයි. ඒ වගේම අපි ජනතාවට මේ සත්වයන්ගෙන් සැබෑ පරිසර පද්ධතියට ඇති අගය අවබෝධවන පරිදි, අපගේ සංරක්ෂණ පණිවුඩ නිර්වචනය කල යුතුයි. ඉතින් අපි නැවත තල්මසුන් බේරා ගනිමු, නමුත් මෙවර, හුදෙක් ඔවුන් වෙනුවෙන් එය නොකර අප වෙනුවෙන් එය කරමු. ඔබට ස්තුතියි. (අත්පොලසන්)